පාන්දර තුනට වෙන්න ඇති වෙලාව. එයා ඇස් විවර කරලා බැලුවේ දැල්වෙන කහ පාට විදුලි බුබුළේ ආලෝකය දිහා. මුහුදු රැල්ල නොනවතින ඝෝෂාව නතර කරන්නෙම නෑ. ඉස්සර දවස්වල මහා කන්දොස්කිරියාවක් දැනුනු ඒ හඬ දැන් දැන් නම් කණට හරි සමීපයි. ඒ හුරු පුරුද්දත් එක්ක දැන් ඒ වැල්ලේ ජීවත් වෙන එක ඒ තරම් අපහසුවක් නෙවෙයි. උදේට බෝට්ටුවට නැඟලා ගිහින් එළිවෙන ජාමෙට වගේ වැල්ලට ගොඩ බාන දහසකුත් තරුණයින්ට තිබුණේ ගතේ හයියට වඩා හිතේ හයියක්. ඒත් පන්හිඳ.. එයාට ඒ දෙකම එහෙම්පිටින්ම තිබුණේ දෙයියෝ දීපු තෑග්ගක් වගේ. බෝට්ටු එක්ක දියඹට ගිහින් මහ සයුරත් එක්ක ඔට්ටු වෙලාම ශක්තිමත් වෙච්චි උර බාහු විටෙක කකියන්න වුණත් එයා හැමතිස්සෙම වගේ ඒ වේදනාව ඉවසුවේ මිහිරියාවක් කියලා හිතාගෙන .
වැල්ලේ උන්නු අනිත් කොල්ලොත් එක්ක බලද්දි එයා ගාව තිබුණේ මහා ලොකු පෞරුෂයක් . ගෑණියෙකුට ආස හිතෙන විදිහේ පිරිමියෙක් වෙන්න එයාට අමුතුවෙන් සුදුසුකම් ඕනි වුණේ නෑ. එයා වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් කියන්න පුළුවන් පිරිමියෙක්..
උදේම නැඟිටලා මූණ අත පය සෝදගෙන ලා නිල් පාට ඩෙනිම් කලිසමට දුඹුරු පාට කොටු කොටු අත් දිග ෂර්ට් එකක් ඇඳලා කළු පාට පොල් ගහ ලකුණ බාටා දෙකත් දාගෙන එයා පාන්දර 4 වෙන්නත් ඉස්සර එළියට බැස්සේ ලොකු රෙදි බෑග් එකකුත් අතින් එල්ලගෙන . පුංචි සාලයේ සුදු හුණු තවරාපු බිත්තියක අලවලා තිබුණු ඈපා ලිත ගාවට ගිහින් රාහු කාලයත් බලලම එයා එළියට බැස්සා.
වැල්ල දිගේ ඔහේ ඇවිදගෙන ඇවිත් ගෙවල් මණ්ඩිය පහු කරලා පාරට ගොඩ වෙද්දි වෙලාව මහ පාන්දර 4.10 ට විතර ඇති..
Torch එකේ එළියෙන් පාර දිගේ ඇවිදන් යන ගමනුත් එයා ඇහුම්කන් දුන්නේ ඈතින් ඇහෙන රළ නැඟෙන හඬ. සවනට මායාවක් වගේ දැනෙන වීණාවක් වයන ස්වර වගේ ඒ මූදු රළ නගන හඬ ජීවිතයට ළං වූ හැටි. හරි පුදුමාකාර නමුත් ඒක දැන් දැන් ජීවිතයත් එක්ක බද්ධ වෙලා අහවරයි. ඒ මුහුදට ආයෙමත් වතාවක් ආයුබෝවන් කියලා පන්හිඳ හැරී නොබලාම torch එළියත් දල්වගෙන පාර දිගේ ඉස්සරහට ඇදුණා.
හඳ තවත් පැය කිහිපයක් යන්නට මත්තෙන් අතුරුදහන් වනු ඇත. දැනටමත් අඩමාන ස්වරූපයකින් බලා ඉන්න සඳ පළුව දිහාවට පන්හිඳ ඇස් යොමු කරලා බැලුවෙ ඇවිදන් යන ගමන්මයි.
බස් එකක් අල්ලගන්න නම් අතරමඟ රැදිලා හරියන්නේ නැති බව එයා දන්නවා. ඉතින් එයා ඔහේ ඉස්සරහටම ගමන් කළා.
බස් එකක් එනතුරු ඉස්සරහට ඇදෙන එයාට දැනෙන්න වුණේ මහා තනිකමක් වගේ හැඟීමක්. උපන් දා සිට වැල්ලේ ගෙවූ ඒ හුරුපුරුදු මිහිරි ජීවිතයෙන් මොහොතකට හරි ඈත් වෙන්න වෙන එක මොන පව්කාරකමක් ද? දහසකුත් සිතුවිලි හිත අස්සට නිරන්තරයෙන් ගලාගෙන එන නිමේෂයක එයා දැක්කේ ඈතින් එන බස් එකක්. ගාල්ල ටවුන් එකට ගිහින් කොළඹ කොටුව බස් එකක නැඟලා යන්න පුළුවන් බව එයා දැනන් උන්නේ. ඉතින් අර ඈතින් එන බස් එකට එයා අත දැම්මේ ඒ බස් එකට ගොඩ වෙන අදහසින්..
වෙනදට ගිනි කසයා වගේ වේගයෙන් එන බස් එක එදා නම් ආවෙ ගොළුබෙල්ලො ගස් බඩගානවටත් වඩා නාකි බල්ලෝ කොළඹ යන්න වගේ . පන්හිඳ අත දාගෙන උන්න හැටි බස් එකේ එළියෙන් දැකපු driver බස් එක නතර කළාම එයා බස් එකට ගොඩ වෙලා පිටිපස්සෙම සීට් එකට ගිහින් වාඩි වුණා.
කරන්න කියන්න කියලා දේකුත් නෑ. ඔහේ බලාගෙන යනවා හැරෙන්න වෙන මොනා කරන්නද.. එයා ළඟ තිබුණු කවුළුවෙන් එළිය බලාගෙන ආවෙ ඒ හිමිදිරි පාන්දර තියෙන සිසිලසත් බොහොම අමාරුවෙන් දරාගෙන .
පැය භාගයක් ඉක්මවලා ගිහින් විනාඩි ගානක් ගත වුණු තැන අදාළ බස් රථය ගාල්ල ටවුමට ආවට පස්සෙයි එයාගෙ හිතට යාන්තම් සැනසීමක් ආවේ. දැන් ඉතින් කරන්න තියෙන්නෙ කොළඹ කොටුවට යන බස් එකක් අල්ල ගන්න එක. රෙදි බෑග් එකත් අරගෙනම එයා අඩ අඳුර මැද්දෙ ගාල්ල ටවුමෙ කොටුවට යන බස් එකක් හොය හොයා ඇවිද්දා. ඒ වෙද්දි නම් කොළඹ බස් ඇවිල්ලා තිබ්බෙ නෑ.
' ෂික්... එපා වෙනවා අප්පා. මට ඕනි වෙලාවට තමා මොකුත් නැත්තේ රෙද්ද.. පුවක් ගහකට නැග්ගත් දෙබලක් නෙව... '
එයා හිතන්න වුණේ සිමෙන්ති බංකුවක වාඩි වෙලා. හිතේ තියෙන තැතිගැන්ම දැන් දැන් එන්න එන්නම වැඩි වෙනවා. මහ මුහුදත් එක්ක ඔට්ටු වුනාට මොකද මේ වගේ නගරෙක ඔට්ටු වෙන්න තරම් එයාගෙ හිත හයිය නෑ. ගත කොච්චර හයිය වුණත් නොදැනුවත්කමක් ඉස්සරහට ඇවිත් එයාගෙ හිත හරි හරියට බාල කරන්න අරන්.
කොළඹ බස් නවත්තන ඉසව්වෙන් නවත්තපු බස් රථය දැකලා රෙදි බෑග් එකත් උස්සගෙනම අඩියට දෙකට දුවලා ගිහින් එයා ඒ බස් රථයට ගොඩ වුණා. ආව බස් එක වගෙ නෙවෙයි , මේක මහා තොරොම්බල් කරත්තයක් වගේ . පාට පාට බල්බ්වලින් අලංකාර කරලා තිබුණු බස් එකේ ඒ මොහොතේ ඉඳන්ම දාලා තිබුණේ වේග රිද්ම ගීත.
මහ මුහුද නගන හඬට කොච්චර ඇහුම්කන් දුන්නත් මොකද ඒ ඝෝෂාව නම් එයාට ඉවසන්නම බෑ. බස් එකේ සුපුරුදු පිටිපස්සෙ සීට් එකෙන්ම වාඩි වෙලා එයා කවුළුවකින් එළිය බලාගෙනම උන්නා. ගත හිරිවට්ටන සුළු හීතලක් එක්ක ඒ මොහොත දැනුනේ හරියට නුවර ගිහින් ඉන්නවා වගේ හැඟීමක්.
' සුදු චූටි, මං එනවා සුදු චූටි.. උඹව බලන්න උඹෙ පන්හිඳ අයියා එනවා මගෙ රත්තරනේ.. උඹ අසනීප වුනාය කිව්ව මොහොතේ ඉඳන් මේ පපුව පිච්චෙනවා රත්තරනේ..ඔහොම ඉඳින්කෝ ඩිංගක්.. මං ආවම උඹව පපුවට තුරුළු කරගන්නම්.. එතකොට ඔය හැම අසනීපයක්ම හොඳ වේවි... '
ඒ හිත බස් එකට වෙලා හිතුවේ එහෙම. ඒත් ඒ හිතට සිතුවිලි එක්ක අතරමං වෙන්න අවසරයක් නොතිබුණේ play වෙන වේග රිද්ම ගීතත් එක්ක. හිත අස්සෙන් බැන බැන එයා ළඟ තිබුණු කවුළුවෙන් ඔහේ එළිය බලාගෙනම උන්නා.
" මල්ලි... "
එයා කතා කළේ බස් එකේ කොන්දොස්තරට. ඒත් එක්කම එයා ගාවට ආවේ කොණ්ඩේ දුඹුරු පාට කරපු කෙට්ටු හීන්දෑරි කොල්ලෙක්.
" ඇයි අයියේ.. ? "
" මේක කීයටද අද්දන්නේ.. ? "
" හරියටම පහ වෙද්දි අදිනවා අයියේ.."
" අහ්.. හරි මල්ලි... "
එයා ඒ කොල්ලත් එක්ක යාන්තමට වගේ හිනා වෙලා ඔළුව වැනුවම කොල්ලා හිනා වෙලා එතනින් යන්න ගියා.
පාන්දර 5 වෙද්දි බසෙක ඇද්දුවෙත් සත්සිඳුගේ alarm එක නාද වුණෙත් එකටම වගේ. එහෙම්මම alarm එකට අතින් ගහලා off කරලා දාපු කොල්ලා අනිත් පැත්තට හැරිලා නිදාගන්න වුණා. ඒත් එයාට එක පාරටම මතකෙට ආවේ කලින් දවසේ රෑ උණ ගත්තා වගේ නේද කියලා. කොල්ලා එහෙම්මම ඇස් විවර කරලා නැඟිටින්න හැදුවට මොකද එයාට නැඟිටගන්න බෑ.
එයාට සහලෝලා උණ. එහෙම්මම නළලට අත තියලා බැලින්නම් පොරි දාන්න පුළුවන් ගානට රස්නෙයි. එයා අමාරුවෙන් අමාරුවෙන් වුණත් නැඟිටලා කට සෝදලා ජනේලයෙන් එළියට දැම්මා. ඊට පස්සේ හීටර් ජග් එක ගහලා බලන් උන්නේ වතුර එක උණු වෙනකන්. එයා ඒ අස්සෙත් උන්නේ රෙද්දක් ඇඟේ පෙරවගෙනමයි. සීතලත් එක්ක දැනෙන උණ ගතිය නිසාම එයාට හරියට කෙළින් හිටගෙන ඉන්නවත් බෑ. එයා වතුර එකත් උණු වෙන්න දීලා තේ කොළ ටිකක් මඩියට දාගෙන වතුර වත් කරලා ගත්තා. ඉඟුරු කෑලි දෙක තුනක්ම තිබ්බට මොකද ඉඟුරු කෑල්ලක් තලලා දාන්න තරම්වත් එයාට පණක් නෑ.
ඒ හින්දම වත් කරලා ගත්තු කහට වතුර ටිකට සීනි හැඳි දෙකකුත් එක්කහු කරගෙන එහෙම්මම බිත්තියටයි, පුටු මේසවලටයි වාරු වෙවී ඇවිත් කොල්ලා ඇඳෙන් වාඩි වෙලා තේ එක තොල ගාන්න පටන් ගත්තා. කෙඳිරි ගාමින්ම උන්නු එයා පෝන් එකත් අතට අරන් වෙලාව බලද්දි 5.20 ට වෙලා.
සෑම උත්සාහයක් පිටුපසම ජයග්‍රණයක් ඇතැයි කියන්න වගේ තේ එකත් බීලා නැඟිටින්න හැදුවට එයාට නැඟිටගන්නවත් බෑ. ඒත් අමාරුවෙන් අමාරුවෙන් නැඟිටලා ගිහින් මග් එකත් සෝදලා දාලා ඇවිත් කහ පාට විදුලි බුබුළේ එළිය යටම ආයෙමත් වතාවක් එයා ඇඳේ ඇලවුණා.
කොල්ලට එහෙම්මම ඇස් පියවුණා. ඇස් පියවෙන තත්පරයට නිදි දෙව් දූ එයාව නිදිගන්වලත් ඉවරයි. වෙනදට නම් ඉතින් එයාගෙ ඇස් මානෙකට නින්ද කියලා නාමයක් එන්නෙ හරියට ගලෙන් පට්ටයක් ගන්න හැදූ විදිහට . ඒත් ඉතින් ඒ මොහොතේ කොල්ලා උන්නු තත්වෙත් එක්ක ඉක්මනට එයාට නින්ද ගියා.
දෙනුවර වුණත් නිදාගෙන උන්නේ ඇඳ බදාගෙන තද නිද්‍රාවකට සමවැදිලා වගේ. හීතලත් එක්ක මහ රෑ ඉඳන් හොඳ හැටි නින්ද යන එක නම් කොච්චර වාසනාවක්ද ?
එයා වෙනදාට නම් උදේම අවදි වෙලා අහන් උන්නේ alarm එකේ හඬ. Alarm එක කිව්වට ඒ alarm එක තියෙන්නේ දෙනුවරගේ කාමරයට අල්ලපු කාමරේ. ඒත් වෙනදා ඇහෙන ඒ හඬ නෑහෙන තැන දෙනුවරටත් එහෙම්මම නින්ද ගියා. එයාගෙ alarm එක නාද වුණත් දැනුනු හීතලත් එක්ක දෙනුවර කළෙත් alarm එක off කරලා අනිත් පැත්තට හැරිලා නිදාගත්තු එක.
මිගාන් ඇහැරුණේ පාන්දර හයත් පහු වෙලා. සත්සිඳුගේ කාමරේ දොර වහලා තිබ්බ නිසා දෙනුවර නම් නැඟිට්ට පැදුරෙන්ම වගේ ලෑස්ති වෙලා දිව්වේ සත්සිඳු යන්න ඇති කියලා හිතාගෙන. මිගාන් නම් නැඟිට්ට ගමන්ම කළේ පෝන් එක අරන් වෙලාව බලපු එක.පාන්දර 6.10 යි.
කාලය තමයි කාලය. ඒකත් හරියට ගඟක් දෙපැත්තේ තියෙන දෙඉවුරක් යා කරන පාලමක් වගේ. ගැරඬියා bath room එකට ගියේ sleeprobe එක පිටින්මයි. ගිහින් මූණ අත පය සෝදගෙන එයා කාමරයට ඇවිත් sleeprobe එක පිටින්ම පඩිපෙළ බැස්සා.
" සර් නැඟිට්ටද ? "
බාබු අන්කල් ඇහුවේ කොල්ලගේ fresh milk එක ලෑස්ති කරන ගමන්.
" ඔව් බාබු අන්කල්..Good Morning... "
" good morning සර්... "
බාබු අන්කල් කොල්ලගේ fresh milk එකත් හදාගෙනම කොල්ලා ගාවට ඇවිත් දුන්නම එයා fresh milk මග් එකත් අරගෙනම කෑම මේසයේ වාඩි වුණා.
"අද නම් සර් වේලාසනින් නැගිටලා නේද? "
" අද ඉක්මනින් ඇහැරුනානේ බාබු අන්කල්.. මට නින්දත් ගියා හොඳට.. ඒත් අනේ මන්දා.. වේලාසනින් කියන්නත් බෑ.. වෙනදා වෙලාවම වගේ තමයි ඉතින්.. හැබැයි අද වැඩේ කියන්නේ මං කාමරේට වෙලා ඉන්නෙ නැතුව පහළට ආවනේ.. ඒකයි ඔය බාබු අන්කල්ට වෙනසක් වගේ පෙනිලා තියෙන්නේ... "
එයා fresh milk එක තොලගාන ගමන්ම කිව්වා. බාබු අන්කලුත් හිනා වෙවී ගිහින් kitchen එකට ගොඩ වෙලා මොන මොනවදෝ උයන්න ගත්තා. කොල්ලා fresh milk මග් එකම හිස් කරලා ආයෙමත් එතනින් පිට වෙලා ගිහින් පඩිපෙළ නඟින්න වුණා. එයා එහෙම්මම ආවේ කාමරයට.
උදේම එයාගෙ අහිංසකයව බලන්න කුමාරතුංග මුනිදාස මාවතේ පෞරාණික නුග ගස් හෙවණ යටට යන එක දැන් හරියට එයාට පුරුද්දකට ගිහින් වගේ. ජීවිතේ ඇබ්බැහි වීම් එමටයි. ඒ ඇබ්බැහියන් අතර එයා වෙනමම ඇබ්බැහියක්. හිත උදුරගෙන හිර කර ගෙන තියන් ඉන්න ඇබ්බැහියක් .
අහසට හැමදාමත් අමාවක තියෙන්නෙ නෑනේ. කවදා හරි දවසක පුර හඳ පායනවා. එයා විශ්වාස කළේ ඒ දහම.
ජීවිතය නම් සල්ලාලයා මෙල්ල කළ ඒ අහිංසක ආදරය.. ඒක නම් වශියක් වගේ. ඒ ආදරේ ඇත්තෙන්ම වශියක්. අද දවසත් ඊයෙ වගේම සුන්දර වෙන්න ඕනි කියන ප්‍රාර්ථනය විතරක් මිගාන්ගේ හිතේ පැළපදියම් වෙලා තිබුණා.
එයා sleeprobe එක අයින් කරලා පුරුදු විදිහටම jym short එකකුයි, fit ටී ෂර්ට් එකකුයි දාගෙන ඒකටම ගැලපෙන්න වගේ pillow slippers දෙකකුත් දාගෙන කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ බහින්න වුණා.
" සර් යන්නද ? "
එයා පඩිපෙළ බහිනවා දැකලා බාබු අන්කල් ඇහුවා.
" ඔව් බාබු අන්කල්.. යන්න කියලා හැදුවේ... "
එයා අන්තිම පඩියට අඩිය තියන ගමන්ම කිව්වා.
" සර්, ජිම් එකටද යන්නේ? "
" ජිම් එකට යන්නත් ඕනි.. හැබැයි දැන් මට උදේම රාජකාරියක් වැටිලනේ.. හැමදාම ඉතින් ඒකට යන්න වෙනවා... "
" අපෙ අප්පේ... "
බාබු අන්කල් එහෙම කිව්වේ හිනා වෙන ගමන්.
" ඇයි බාබු අන්කල්...? "
" ඇයි අහන්නේ සර්.. නුවරඑළියේ බංගලාවයි වත්තයි බලාගන්න එහේ කට්ටිය ඉන්නවා. සමරදිවාකර group එකේ වැඩ බලන්න ඒකේ මහත්තුරු ඉන්නවා. සර්ට බලන්න තියෙන්නෙ අර club එක විතරනේ.. ඒකත් රෑටනේ.. සර් කරන්නේ jym එකට ගිහින් එන එක විතරනේ.. එතකොට මොකක්ද අප්පේ මේ අලුත්ම අලුත් රාජකාරිය ? "
බාබු අන්කල් අහද්දි කොල්ලට හිනාත් එක්ක.
" අහ් ඒකද.. ඒක ඇවිල්ලා බාබු අන්කල් රහස් ගනුදෙනුවක්.. වැඩිය හිතන්නෙපා අනේ.. හිනා වෙලා ඉන්නකෝ.. මං ගිහින් එන්නම්... "
එහෙම කියලා එයා හිනාවකුත් මූණේ රඳවගෙනම එළියට බැස්සා.
Full face හෙල්මට් එකත් දාගෙන එයා බයික් එකට නැග්ගේ රාජ කුමාරයෙක් අසු පිට නඟින්න වගේ. හැබැයි ඉතින් හරිම අශ්වයා වෙන කෙනෙක් නෙවෙයි, එයාමයි. පෙරළිකාර අශ්වයෙක්..
බයික් එකත් start කරගෙනම එයා පාරට බැහැලා ඉගිලිලා ගියේ කුමාරතුංග මුනිදාස මාවත දිහාවට. වෙලාව පාන්දර හතයි ගාණක් වෙලා තිබුණු නිසා school යන කොල්ලො කෙල්ලෝ පාරවල්වල පිරිලා. හංදියක් හංදියක් ගානේ හිටගෙන ඉන්න කොල්ලො කෙල්ලෝ එයාගෙ බයික් එක ගිනි පිඹගෙන යන හැටි බලන් උන්නේ වශීකෘත මායාවක් දිහා බලා ඉන්නවා වගේ.
තුම්මුල්ල හරහා ඇවිල්ල කුමාරතුංග මුනිදාස මාවතට දාපු බයික් එක ගිහින් නතර වුණේ අර පෞරාණික නුග ගස් හෙවණ යට. එයාගේ ඇස් බලා ඉන්නේ එයාගෙ අහිංසකයා එනතුරු. ඒ වුණත් එයාගෙ අහිංසකයා නම් ඒ වෙද්දිත් හොඳටෝම නිදි. උණ ගැනිලා වෙවුල වෙවුල එයා උන්නේ නැඟිටගන්නවත් බැරුව.
ලෝකය කොච්චර උමතුවක්ද කියනව නම් මිනිස්සු ජීවත් වෙන්නෙම පාට පාට හීන ලෝකයක් මැද්දේ. ඒ හීන ලෝකයෙන් අපිට මිදෙන්න වුණත් අපි ඒ හීන ලෝකයෙන් මිදෙන්න හරි ලෝභයි. මොකද මේ හැම ගනුදෙනුවක්ම සිද්ධ වෙන්නේ හදවත් එක්ක නිසා. හිතකට හිතක් බැඳෙන එක බොළඳ ආදරණීය ගනුදෙනුවක්. මිනිස්සු ජීවත් කරවන්නේ ඒ ගනුදෙනුව කිව්වොත්.. ඔව්, ඇත්තෙන්ම මිනිස්සු ජීවත් කරවන්නේ ඒ ආදරය කියන ගනුදෙනුවම තමයි.
ගතෙන් කොච්චර දරදඬු වුනත් මොකද ඒ හිත නම් හරිම මොළොක් හිතක්.. එයාගෙ ඇස් බලන් ඉන්නේ එයාගෙ අහිංසකයා එනතුරු . ඒත් එයා එන්නෙ නෑ. ඒකයි ඇත්ත. එයා ඒ බවක් දන්නෙත් නෑ.
වෙලාව හරි ඉක්මනට ගෙවෙන්න අරන්. තත්පර, මිනිත්තු, පැය ගෙවිලා යන්න අරන් තිබුණේ මායාකාරි වේගයකින්. එයාගෙ ඇස් බලන් උන්නේ අර අහිංසකයා එයි කියලා හිතන් බලාපොරොත්තු පොදි බැඳගෙන. හිත අස්සේ දහසකුත් සිතුවිලි නාඩගම් නටන්න අරන්. වෙලාව කොච්චර කොහොම කොයි විදිහට ගෙවිලා යන්න වුණත් එයාගෙ ඇස් බලාපොරොත්තු වෙන රූපය නම් පේන තෙක් මානෙක නෑ.
හිත ටිකෙන් ටික බයවෙද්දි එයාගෙ හිත තනියම මුමුණන්න වුණා.
' Babybabe , අනේ ඇයි මගෙ දරුවෝ.. ඇයි ඔයා ආවෙ නැත්තේ ? මට හරි බයයි දරුවෝ.. ඔයා..ඔයා හොඳින් නේද ? අනේ මගෙ ඇස් දෙකට ඔයා නොදැක ඉන්න බෑ දැන්.. අනේ ඉක්මනට එන්නකෝ.. මං බලන් ඉන්නවනේ මගෙ දරුවෝ... '
දරදඬු ගතේ බොළඳ හිතේ අයිතිකාරයාගේ හිත ඉතින් මුමුණනවා. එයා එන්නෙ නැති වෙද්දි ඒ හිත තිගැස්සෙනවා. බයකින් මිරිකෙනවා. ඊටත් එහා ගිහින් හිත අස්සේ ඇති වෙන හීනි දුක.. ඒක හදවත පාරවනවා .
බලන් උන්නට වැඩක් නෑ. එයා එන්නෙ නෑ. ඒත් හිත පිළිගන්නෙත් නෑ. තව මොහොතක් එතන රැඳුණු කොල්ලා පෝන් එක බලද්දි වෙලාව 8.30 යි. වෙනදා වගේම කාල සංග්‍රාමය හොඳටම කරලා වගේ..
දැන් ඉතින් එයා නොඑන වග නම් ගැරඬියගේ හිත කොහොමත් දන්නවා. තවත් බලන් ඉඳලා තේරුමක් නැති තැන එයා දෙවරක් නොහිතාම බයික් එක start කරගෙන ආයෙමත් හරවගත්තේ ගෙදර යන්නවත් ,ජිම් එක පැත්තෙ යන්නවත් නම් නෙවෙයි.
පන්හිඳ උන්නේ කොළඹ කිට්ටුවට ළඟාවෙන ගමන්. එයත් උන්නේ ඉවසිල්ලක් නැතුව. එයාගෙ අහිංසකයා දකින තුරු ඒ හිතෙත් ඉවසිල්ලක් නම් නෑ. පපුව හාරවන දුකක් වේදනාවක් ඒ හිත අස්සෙ පිරිලා තියෙන්නෙම ඕනිම කරන මොහොතවල් වල එයාගෙ අහිංසකයා ගාව රැඳෙන්න බැරි වෙන නිසාමයි.
කොළඹ අහස යට නුහුරු නුපුරුදු ගතියක් දැනෙන්න වුණත් එයා ඒ හැමදේම දරාගෙනම එයාගෙ අහිංසක ආදරේ වෙනුවෙන් ඉවසන් උන්නා.
' මං එනවා සුදු චූටි.. ඉක්මනට එනවා..... '
ඒ හිත මිමිණුවේ එහෙම.
මීළඟ කොටසට ...