Cherreads

Chapter 48 - මා පෙම්බර අග රැජිනියනි

"රෙශ්ඛ්‍ය මන් ඔයාට ආදරෙයිනේ. මන් ඔයාට අඹ කඩලා දෙන්නම්" 

කියලා අඹ ගහට නගිනකොට රෙශඛ්‍ය බිම ඉඳන් උඩ බලන් හිටියේ වැටුනොත් අල්ලගන්න රෙඩී වෙලා. ඒවා ඉතින් මේ කපේ වෙන ඒවා නෙමෙයි! ගහ වැටුනත් සවේන් වැටෙන්නේ නෑ. මන් අඹ කඩලා කඩලා දානකොට බාප්පා සරම අල්ලන් ඒවා ඔක්කොම බිමට වැටෙන්න නොදී අල්ලගත්තා. ගහෙන් බැහැලා අත් දෙක එකට ගගහා රොඩු අයින් කරන ගමන්,

"මේ අඹ වල පනුවෝ නෑ රෙශඛ්‍ය" 

"ඒ වුනාට දෙහිවල අලි ඉන්නවා" 

"හිටිං මන් මේ ටික කපාන එන්නම්" පුංචි අම්මා බාප්පා එක්ක ගේ ඇතුලට ගියාම ඔක්කොලටම ඕන වුනා පහල වෙලේ බඩගාන්න.

"සරුංගලයක් තිබ්බනම් මරු නේ බන්?" තුර්ශ ඇහුවම රෙශඛ්‍යයි තුර්ශයින් දෙන්නම එකට,

"හදමුකෝ බන්!" කියලා හිනා වෙලා, කියලා කරවල් වලට අත දාගෙන,

"සමගියේ සහෝදරයෝ!"

මුන් දෙන්නගේ කෝලම්! "එහෙනම් අතන තියනවා බට ගහක්. ඉන්න මන් කැත්තක් අරන් එන්නම්" මන් ආයේ ගෙදට්ට දුවලා ගිහින් කැත්තත් අරන්, කපපු අඹ ටිකත් අරන් වෙල පහලට බහිනකොට ලිනුක,

"කැත්තක් අරගෙන වත්තට යනකොට 

සයෝද් ඉඳගෙන කජු කනවා

මයුරවංස පැටව් අහසේ යන්න

සරුංගලයක් හදනවා තක දොන් 

සරුංගලයක් හදනවා" 

ඔක්කොම අඹ කෑවට පස්සේ මමයි, රෙශඛ්‍යයි, තුර්ශයි ගියේ බට කපන්න. බට ගහ තිබ්බේ එහා කෙලවරේ. 

 "මෙහෙ දීපන් ඕක ලොකූ! කොටනවා විතරයි ඇති වැඩකුත් නෑ! ඔහොම කෙටුවොත් නම් උඹට යවාගන්න වෙන්නේ ඊළඟ දවසේ තමයි." කියලා රෙශඛ්‍ය කැත්ත තුර්ශගේ අතින් උදුරලා අරගත්තම

"අනේ තෝ හිටපන්! මන් හොඳට කොටන්න දන්නවා" 

"උඹලා දෙන්නට ඩබල් මීනින් වලින් තොර ලොවක් නැද්ද බන්?"

"ඊයා පලයං එහාට ලිනූ!!!" ඒ අස්සේ සෙනූ ගොලු බෙල්ලෙක් අරන් පස්සෙන් පන්නන ලිනුකට දෙස් දෙවොල් තිය තිය වෙල වටේ දුවනකොට සුදු කොක්කු රෑනකුත් බය වෙලා ඉගිල්ලුනා. මේ ජවනිකාව දිහා උපේක්ෂාවෙන් බලා සිටි මී හරක් ජෝඩුවක් 'ග්‍රෝක්' කිව්වා.

"අනේ ලොකු අයියේ!!!! මාව බේරගනින් හත්වලාමේ!" 

ඒපාර මොකද? මමයි, තුර්ශයි, රෙශඛ්‍යයි බට පඳුරෙන් ඈත් වෙලා මෙහාට ඇවිත් බලද්දි අත් දෙකක් විතරක් පේනවා. 

"අයියෝ ලොකූ මෙන්න මේ විනූ මුට්ටියක් ඔලුවේ හිර කරන්!" සුදු නංගි එහා කොනේ ඉඳන් කෑ ගහනකොට අපි තුන් දෙනා දිව්වා. ඇස්, නහය, කට ඇඳපු මුට්ටියක් ඔලුවේ දමාගෙන මඩටම වැටිලා බෙරිහන් දෙන විනූ දැක්කම අපිට මෙලෝ සිහියක් නැති වුනා. ඌව උස්සන්න කවුරුත් නෑ ඔක්කොම බඩවල් අල්ලන් බිම වැටිලා හිනා වෙනවා. 

"මේක ගලවපං හිනා වෙන්නේ නැතුව!" ඌ කෑ ගහනකොට අපිට තව හිනා යනවා. 

තුර්ශ කොහොම ලොකු අයියා වශයෙන් දිරි අරගෙන නැගිටලා විනුකව ඇදලා එලියට ගන්නකොට කොල්ලාගේ පස්චත්භාගයේ මඩ එකයි. අත්, කකුල් වලත් මඩ. ඒත් තාම මුට්ටිය ඔලුවේ. ඒක ගන්නත් බෑ. මන් අදිනවා අදිනවා ඒක එන්නේ නෑ.

රෙශඛ්‍ය නැගිටලා ඉක්මනින් ගිහින් පොඩි ගලක් උඩින් ඉඳගෙන බිම තිබ්බ ගොයම් කුරුට්ටකුත් අරන් කකුලක් උඩ කකුලක් දාගෙන දැන් සිංහාසනරූඨ වෙලා ඉන්නේ.

"එම්බල නර පණුව, කිමද තොප මුට්ටියක් හිසේ බහා සිටින්නේ?"

හැමෝම බඩ අල්ලන් හිනා වෙනකොට, 

"පස්වාන් දහසකට බුදු වන්න දේවයන් වහන්ස! මේ මාගේ අංඤ්ඤාණ මළණුවන් පඹයෙක් ට ඇඳීමට ගොස්, මුට්ටිය හිසේ සිරවී ඇත" තුර්ශ විනුක ව ඇදන් ඇවිත් දෙකට නැවිලා කියනකොට

"ආතල් ද ලොකු අයියේ? මේක ගලවපන්!"

"හා හා කට කට! රාජ සභාවේ නන් දොඩ තොප රාජ උදහසට ලක් වීමටද සැරසෙන්නේ?" ලිනුක ගිහින් රජතුමාගේ සිංහාසනය පැත්තකින් ඉඳගත්තා.

"මහ ඇමති, තොප සිතන්නේ අප කිණම් ආකාරයෙන් මෙම ගැටලුව විසඳිය යුතුයි කියාද?" 

"මා සිතන්නේ රජතුමනි අප හට මේ නරපණුවාගෙන් ඇති වැඩක් නොවන නිසා මූගේ බෙල්ල සිඳ මුට්ටිය බේරා ගත යුතුයි කියායි!"

"අනේ!!!!! දේවයන් වහන්ස!!! මාගේ අංඤාන මළනුවන්ට කමා කර, මාගේ මුට්ටියද මල්ණුවන්වද දෙදෙනාම බේර දෙනු මැනවී" 

ඒ අස්සේ සුදු නංගී, සෙනුයි, නුවී ඇවිත්,

"සවේන් අයියේ දේවයන්වහන්සේට අගබිසෝගේ උපදෙස් අවශ්‍යයි. ඒ නිසා යමු" 

"මොකා?" 

"වැඩපන්. තියා ගනින් අත ඉනේ!" අත අරන් ඉනේ ගැහුවම

"හාකෝ!" කියලා යන්න හදනකොට,

"අගබිසවුන් වහන්සේ යහපත් වන වගයි!!!!" කියලා සෙනූ මැද්දට ගිහින් කෑ ගැහුවා.

 ඉනට අතක් තියන් අගබිසවුන් වහන්සේ ලාලිත්‍යයෙන් වඩින කල්හි දේවයන් වහන්සේද සිංහාසනයෙන් බැස අවුත් අත දුන් කල්හි අගබිසොවුන් වහන්සේද හස්තය දී අගබිසෝ තොමෝ දේවයන්වහන්සේගේ ශ්‍රී කලවයක් මතට සැපත් කර,

"මා පෙම්බර අගරැජිනියනි, පවසන්න මේ අප ඉදිරියේ සිටින නරපණුවාට කුමක් කළ යුතුද?"

විනුක බිම ඉඳගෙන කම්මුල වෙනුවට මුට්ටියට අත තියන් සසර කලකිරිලා ඉන්න හැටි දැකලා මට හිනා ගියා. 

"රජතුමනී...." රජතුමාගේ උරහිසේ එල්ලිලා ඇඹරුනාම,

"පවසන්න සොඳුරිය!"

"මා සිතන්නේ අප මුට්ටිය බිඳ මේ අසරණ දරුවා බේරා ගත යුත්‍ය් බවයි. මහ ඇමති ඇතුලු රාජසභාවේ ඡන්දය වෙනුවෙන් ලබා දෙන දීමණාවෙන් සමව මුදල් වැය කර රාජ්‍යයේ සියලුම පවුල් වලට ඔවුන් පොරොන්දු වී ඇති ලැට් බාල්දි වෙනුවට මුට්ටි ලබා දිය යුතු බව මාගේ අදහසයි"

"කදිමයි, කදිමයි අගබිසවුනි! ඔබගේ නුවණ දැක මා අමන්දානන්දයට පත් වුනි. දුටුවෙහිද මහ ඇමති! තොප සියල්ල රාජකීය නාට්‍යංගනාව මා අගමෙහෙසිය කර ගැනීමට සැරසෙන කල්හි රට පුරා එයට එරෙහිව තොප ගෙන ගිය උද්ඝෝෂණ වලට මා භිය වූවානම් තොපට මෙතරම් නුවණඇති අගබිසෝවක් ලැබෙනවාද?"

"නැත දේවයන් වහන්ස! නැත! එනමුත් රජතුමණි අප ලැට් බාල්දි වලට වෙන් කල ධනයට වඩා ධනයක් මුට්ටි වලට වෙන් කිරීමට සිදු වීම රාජ සභාවට කරණා අසාධාරණයකි."

"එයට ටෙන්ඩර් කැඳවුව මැණවි දේවයන් වහන්ස" 

"අගනෙයි අගනෙයි මා සොඳුරිය!" 

එකෙනෙහි සියල්ලෝ එකතු වී කලු ගලකින් මුට්ටිය බිඳ අඤ්ඤාන නරපණුවා බේරාගත් පසු දහදියෙන් පෙඟී මුට්ටිය මෙතෙක් වෙලා ඔලු ගෙඩියේ සිර කරන් සිටි ඒ නරපණුවා දේවයන් වහන්සේට සහ මහ ඇමතියාට කෙලගෙන කෙලගෙන ගියහ. 

ශොපින් බෑග් වලින් සරුංගලය හදලා වෙලේ සරුංගල් අරින්න පටන් ගත්තා. ගෑණු ළමයින්ට නම් ඒකේ ඒ හැටි වගක් තිබ්බේ නෑ. උන් රෙදිත් අරන් ගිහින් බට ගහත් එක්කම තිබ්බ කුඹුක් ලිඳෙන් වතුර ඇදන් නාන්න ගියා. තුර්ශ නංගිලාව තනියෙන් යවන්න බෑයි කියලා උන්ට වතුර අදින්න ගියා. 

රෙශඛ්‍ය ලැබුනු නිදහසෙන් උපරිම ප්‍රයෝජනය ගන්න මන් සරුංගලය අල්ලන් ඉන්නකොට පිටිපස්සෙන් ඇවිත් ඉනට අත් දෙක තියන් බෙල්ල පාමුල ඉඹින්න ගත්තම

"අනේ මට කුචි රෙශඛ්‍ය!"

"ආහ්? මෙන්න කවදාවත් තිබ්බෙ නැති කුචියක්!" කියලා ආයෙ බෙල්ල ඉඹින්න ගත්තාම මාව ඇඹරෙනවා

"සරුංගලය අත ඇරෙයි රෙශඛ්‍ය!"

"අත අරින්න! මාව ඇර ඕන එකක් අත අරින්න සුදයියේ!" ඉතින් සරුංගලය අත ඇරුනා. එයා මාව අනික් පැත්ත හරෝගත්තම මන් එයාගේ කරේ එල්ලුනා. එයා මාව උස්සලා ගත්ත ගමන් අපි දෙන්නගේ තොල් එකට පැටලුනා. දිගු හාද්දකින් පස්සේ මන්,

"මන් ඔයාට ආදරෙයි මගේ පන"

"තවුසේ මට දැන් පන කිව්වද?" රෙශඛ්‍යගේ ඇස් දෙක අති විශාලයි.

"ම්ම්ම් කිව්වා!" 

රෙශඛ්‍ය මගේ පස්ස අල්ලන් තව උඩට අරන් මගේ මූණ හාදු වලින් නාවලා,

"මන් ආදරෙයි මගේ මැණික!" 

"ඔක්කොමලා කන්න එන්න!"

මහන්සියට සාලෙයි, එලිපත්තෙයි තැන් තැන් වල වැටිලා ඉන්න එවුන්ට මන් අඬ ගැහුවේ පුංචි අම්මා කෑම මේසේ ඇරියට පස්සේ. කියන පරක්කුවට සේරමල්ලා ඇවිත් වාඩි වුනා.

"හම්මට සිරි! ඇඹුල් තියල්!" තුර්ශ කෑ ගැහුවම ආත්තම්මට හිනා ගියා.

"කාහල්ලා හොඳට! ඇතිපදන් වෑංජන බෙදාගන්ට" 

"ඔය මක්කැයි දරුවෝ බත් පොලොත්ත හැන්දක්වත් තරම්වත් බෙදාන නෑ නොවැ" කියලා සුදු නංගිට පුංචි අම්මා තව බත් බෙදුවා.

"අනේ එපා ආන්ටි මන් ඩයට්" කියපු ගමන් තුර්ශ හක හක ගාලා හිනා වෙන්න ගත්තා 

"මොකද තමුසේ?" සුදු නංගිගේ මූණ දෙක වෙලා.

"අනේ මේ සුදූ මරිසි දාන්නේ නැතුව කාහන්. මාර රසයි!" 

අනික් අය නම් සේරෝම, විශේෂයෙන් කියන්ට ඕනෑ මගේ මනුස්සයා නම් ඇස් වහක් කටවහක් නෑ දැන් කන්නේ තුන් වෙනි පාර. කාලා කාලා කිරීයි, පැනිත් කාලා දැන් පිඹුර පොලේ ගහලා වගේ සාලේ මැද්දේ බිම වැටුනා. 

"මේ මාර සීතලයි ලොකූ බිම! මන් මෙතන බුදියගන්නවා!" කිව්වම තුර්ශත් ඇවිත් රෙශඛ්‍යගේ එහා පැත්තෙන් ඇලවුනා.

"බුදියගන්න නෙමේ ගස් ගඳයෝ දෙන්නා වරෙන් නාන්න!" මන් තුර්ශගේ කකුල් වලට කකුලෙන් දෙක තුනක් දුන්නා.

"මේ කුඹුක් ලිදෙන් නාන්න. ශෝක් වතුර ටික!" සුදු නංගි ටවල් එකත් ඔලුවේ බැඳගෙන කිව්වා.

"ඔව් ඔව් අනේ ලොකු අයියේ අපිත් යන්කෝ ඒකෙන් නාන්න!" විනුක තුර්ශගේ අතින් ඇද්දා.

"යමු හැබැයි තොපිලට නම් මන් වතුර අදින්නේ නෑ!" 

මතු සම්බන්ධයි...

Love you!

More Chapters